මෙතන කොටා මට සහය වන්න..

The On Demand Global Workforce - oDesk

Thursday, May 20, 2010

සනත් ජයසූරිය හා ශ්‍රී ලංකාව - දෙවන කොටස ( අදහස් වලට පිලිතුරු )



පසුගිය 18 වනදා පලකල "සනත් ජයසූරිය හා ලංකාව ලිපිය සම්බන්දයෙන් ලබාදුන් ප්‍රතිචාර පිලිබඳ මූලික වශයෙන් පාඨකයන් වෙත මම ස්තුතිය පුද කරමි. එ මගින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඇති සනත් ජයසූරිය පිලිබඳ ආකල්පයේ යම් දැනුවත් බවක් ලබාගැනීමට මට හැකි විය.

මා මූලික වශයෙන් සඳහන් කලයුතු එක් කරුණක් ඇත. එනම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කෙසේ වෙතත් " ශ්‍රී ලංකාවේ ක්‍රිකට් " ගැන ඒ අදහස් පල කල පාඨකයන් ද වෙනත් බ්ලොග් පි‍ටු හරහා අදහස් දැක්වූ බ්ලොග් ලිපි ලියන්නන් ද බ්ලොග් ලිපි වලට පරි බාහිර " ඕපාදූප වෙබ් අඩවි "වල කුණුහරපෙන් සනාට අපහාස කරමින් කමෙන්ට්ස් හා ලිපි පල කල පිරිස ද මේ ලිපිය ලියන ගිරිගෝරිස් ද  "රංජිත් මදුරසිංහ " තරම් වත් තොරතුරු නොදන්නා බවයි. ( රන්ජිත් මදුරසිංහ 1992 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේ පැවති ටෙස්ට් තරඟයට  සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එම තරඟයේ දී කිසිදු විකට්‍ටුවක් දවා නොගත් අතර කිසිදු ලකුණක් ලබා ගත්තේ ද නැත. එය ඔහුගේ ප්‍රථ්ම හා අවසාන අන්තර් ජාතික ක්‍රිකට් තරඟය වූ අතර ඉන් පසු ක්‍රිකට් පුහුණු කරුවකු ලෙස කරලියට ආවේය. පසුව ජාතික රූපවාහිනියේ ක්‍රිකට් විචාරකයකු ලෙස ද අපට ඔහුව දැක ගැනීමට හැකි විය. )  මා රංජිත් මදුරසිංහ මහතා උදාහරණයට ගත්තේ, ලංකාවේ ක්‍රිකට් ගැන හෝ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ජීවිතය ගැන අදහස් දැක්වීමට තරම් " එක අන්තර් ජාතික ක්‍රිකට් තරඟයකට හෝ මා ද අන් අය ද සහභාගි වී නැති නිසාවෙනි. එසේ නම් අපි ක්‍රිකට් ගසා තිබෙන අය පිලිබඳ විමසා බලමු.

අර්ජුන රණතුංග යනු මෙරට  ක්‍රිකට් ක්‍රීඩාවේ දිදුලන නාමයකි. ඔහු මෙරට ක්‍රිකට් ගැන දැඩි අවදානයකින් සිටින්නේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන් " ගහගන්න "වුනත් සූදානමින් සිටින අයකු ලෙස පසුගිය ක්‍රිකට් නිළවරණ ආදී අවස්ථා සැලකීමේ දී පෙනී ගිය කරුණකි. ඔහු ක්‍රිකට් ගැන යමක් ප්‍රකාශ කරයි ද එම කරුණු  " කැලෑ පත්තර "වල ( කැලෑ පත්තර යන යෙදුම භාවිතා කලේ ඒවා යොදා ගනු ලබන්නේ කෙනෙක්ට මඩ ගැසීමට බැවිනි. යහපත් වදනින් ද ලිපි පලවේ. ඉන්පසු ලිපි වල නම් සඳහන් අයට මඩ ගැසීමට "කමෙන්ට් කරුවන්ට "ඉඩ දීම ද කැලෑ පත්තර වල ලක්ෂණයකි. )  කමෙන්ට්ස් ලෙස නොව ජාතික පුවත් පත් වල ඉදිරි පි‍ටුවේ හෝ ක්‍රීඩා පි‍ටුවේ පල කරනු ඇත. සනත් ජයසූරිය යනු ඔහු යටතේ ක්‍රිකට් සෙල්ලම් කල අයෙකි. සනත් ක්‍රිකට් වලින් සමුගත යුතු නම් එය මැනවින් නිරීක්ෂණය කර මුලින්ම අදහස් දක්වන්නේ ඔහුය. ( මා හිතනා ආකාරයට ක්‍රිකට් සම්බන්ධයෙන් එවැනි තීරණාත්මක අදහස් දැක්වීමකට සදාචාරත්මක අයිතියක් ඇත්තේ ද ඔහුට පමණි. ) පසුගිය ජාතික පුවත් පත් විමසා බැලීමේ දී සනත් ජයසූරිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා හෝ එවැනි ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු අදහස් පල කර තිබෙනවා මම නොදිටිමි. සනත් පිලිබඳ "ක්‍රිකට් පොරවල් "එසේ අදහස් දැක්වීමකට නොයද්දිත් කොහේවත් නැති "කොල්ලොයි බල්ලොයි " අදහස් දැක්වීම අප අනුමත කල යුතු ද?  සනත් ජයසූරිය යනු උඩින් ක්‍රිකට් වලට පහල වූ අයෙක් නොවේ. ක්‍රිකට් වලට ඇති "උණ "නිසාම ඒ හා බැඳුනු "අසීමිත ක‍ටු "‍රැසක් කා මෙතනට ආ අයෙකි. ( එය සනත් ටම නොව ක්‍රිකට් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ට ද පොදු වූ කරුණකි.) සනත් ජයසූරියට බත් කවා කිරි පෙවූ අය මෙන් කැලෑ පත්තර හා අනෙකුත් තැන් වල අදහස් දක්වන පිරිස් අඩුම ගණනේ තමන්ගේ ගමේ හෝ පාසලේ ක්‍රිකට් ගහන කොල්ලෙක්ට "මල්ලි උඹ හොඳට සෙල්ලම් කරල ටීම් එකට පලයන්. ප්ලේන් ටී එකක් බොන්න මේක තියාගනින් " යනුවෙන් රුපියල් දහයක්  සාක්කුවට දැමීමට තරම්වත් නිර්ලෝභී අය වූවා දැයි සැක සහිතය. නමුත් ඒ සැවොම සනත් ජයසූරිය වැන්නන් ගෙන දුන් "කීර්තියේ "සෙවන යටතේ අභිමානය හා සොම්නස අත් විඳි  පිරිසයි.

සනත් ජයසූරියව විශ්‍රාම යැවීමට කල්පනා කරන පිරිස් එසේ උත්සහ කරන්නේ පසුගිය කාලයේ ඔහු දැක්වූ දක්ශකම් වල අඩු පාඩුව නිසාය. නමුත් යම් හෙයකින් ඉදිරි එක් තරඟයකදී සනා ලකුණු සියයක් ගැසුවොත් එසේ විශ්‍රාම යැවීමට උත්සහ කරන්නන් හොයා ගැනීමට නොහැකි වනු ඇත. වසර විස්සක් පමණ ක්‍රීඩාකරන දක්ෂ ක්‍රීඩකයකුගේ දුර්වලතා මෙන්ම ප්‍රබලතා අධ්‍යයනය කර ඊට මුහුණ දීමේ ක්‍රියාමාර්ග ප්‍රතිවාදීන් විසින් හඳුනාගැනීම ඔනෑම ක්‍රීඩාවකට පොදු ලක්ෂණයකි. එවිට ඒ අනුව තම තරඟ විළාසය වෙනස් කර හෝ නව ක්‍රම අනුගමනය කර හෝ තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම ඔහුගේ වගකීමයි. එසේ නොමැතිව ක්‍රීඩාවෙන් සමුගන්නට ක්‍රීඩකයන් පෙලඹුනහොත් ක්‍රිකට් ගැසීමට අපට ක්‍රීඩකයන් නොමැති වනු ඇත, කලකට ඉහත  දී මුත්තයියා මුරලිදරන් යවනු ලැබූයේ "තියුනු ලෙස දඟ කැවුනු පිට දඟ පන්දු පමණි." ඉන්දියාවේ දී ඔහු එයින් කෙතරම් හරසරට පත් වී ද යත් නව්ජොට් සිං සිධු ඔහුගේ පන්දු වලට "ලොෆ්ටෙඩ් ඕන් ඩ්‍රයිව්  හයේ පහරවල් " වලින්ම සලකන්නට විය. "සිධු පන්දුවට පහර දෙන්න එනවිට මුරලිදරන් වෙව්ලනවා " වගේ කතාවක් කියා අරවින්ද ද සිල්ව ඒ දිනවල හොඳින් බැනුම් අසා ගත්තා මට මතකය. නමුත් අද වන විට " දූස්‍රා " ද, ලෙග් බ්‍රේක් ද, ස්ට්‍රේට් බෝල් ද ආදී එකී මෙකී නොකී විවිධ පන්දු යවමින් ඔහු ඉදිරියට ආවේය. ක්‍රිකට් වලින් සමුගත යුතු වී නම් මුරලි සමුගත යුතුව තිබුනේ බොහෝ කලකට ඉහත දීය. ජීවිත කාලය තුල දී හඳුනා ගැනීමට නොහැකි වෙතැයි විශ්වාස කල අජන්ත මෙන්ඩිස් ගැන කුමක් පැවසිය යුතු ද? 

ෆ්ලෙවියන් අපෝන්සු යනු 1980 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයෙකි. එකල "කැරළිකාර දකුණු අප්‍රිකානු සංචාරයට "සහභාගි වීම හේතුවෙන් සදහටම ක්‍රිකට් තරඟ තහනමකට ලක් වූ පසුව ඔහුව නැවතත් අපට ක්‍රිකට් වලින් දැක ගත හැකි වූයේ 1996 ලෝක කුසළාන තරඟයේ දීය. ඒ ඔහු නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එයට සහභාගි වූ නිසා වෙනි. එම තරඟාවලියේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු පනස් ගණනක් ‍රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 46 හෝ 47 ක් විය. මෑතක දී මගේ මිතුරකුගේ විවාහ උත්සවයක දී හමුවී ඔහු පවසා සිටියේ එම පාකිස්තාන් තරඟය අවසානේ වසීම් අක්‍රම් "ඔබ මෙම වයසේදිත් දැඩි ලෙස ශක්තිවන්තයි "යනුවෙන් ප්‍රශංසා කල බවයි. මාගේ මතකයේ හැටියට අන්තර්ජාතික ක්‍රිකට් වල ලකුණු පනහක් ගැසූ වයස්ගතම ක්‍රීඩකයා ද නෙදර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර ඔහු එය ලබාගෙන ඇත්තේ වයස  අවුරුදු පනහත් පසු වූ පසුවය. එනයින් ගත් කල සනත් ජයසූරිය යනු බොහෝ තරුණ ක්‍රීඩකයෙකි. අවුරුදු හතලිහේ සීමාවේ දී ක්‍රිකට් වලින් සමු ගැනීම ලෝක ක්‍රිකට් මෝස්තරයක් වුව ද හැකියාව ඇත්නම් අවුරුදු 75 දිත් ක්‍රිකට් ගැසීමේ වරද කුමක් ද? මා නැවතත් අවධාරණය කරන්නේ සනාට මේ එල්ල කරන අවලාද ඔහු ඊලඟ "මැච් විනින්ග් ස්කෝර් " එක ගසන තෙක් පමනක් බවයි. තමන්ගේ වයස්ගත බව තමන්ටම වැටහෙනවා මිස අන් අය තීරණය කරන්නේ කෙසේ දැයි මම නොදනිමි. එංගලන්තයේ දී පැවති 20-20 ලෝක කුසලානය ජයගත් පාකිස්තාන් නායකයා "තම්äන් 20-20  තරඟ සඳහා වයස වැඩි බවත්, තමන් 20-20 තරඟ වලින් සමු ගන්නා බවත් " කියා කතාව අහවර කරන විට ඔහුගේ වයස අවුරුදු 34 කි. නමුත් ඒ වනවිට අවුරුදු 38 ක් පමණ වූ සනත් ජයසූරිය හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අතර කිසිවෙක් " ඔබත් පාකිස්තාන් නායකයා අනුගමනය කරමින් ක්‍රිකට් වලින් සමුගන්නා ලෙස "සනාගෙන් ඉල්ලා සිටි බවක් මම නොදනිමි. ඒ වෙනුවට මම දු‍ටුවේ සනත් ජයසූරියව උදාහරණයට ගනිමින් පකිස්තාන් නායකයාගේ තීරණය උපහාසයට ලක් කිරීමයි.

මා මෙතරම් සනත් ජයසූරිය "සුද්ද"කිරීමට යන්නේ ඇයි දැයි කාට හෝ තාත්වික ප්‍රශ්නයක් මතුවෙනවා නිසැකය. මම ද කලකට ඉහත දී වෙනත් ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව නියෝජනය කලෙමි. එහි දී ක්‍රීඩකයන්ගේ පසුබෑම් ද නැවත නැගිටීම් ද මගේ ඇස් ඉදිරිපිට දීම මම දැක ඇත්තෙමි. "කබ්බන් "ගෙන් නන්නත්තාර වෙන්න කා පොරවල් වලට එලව එලවා ගසා එක් වරම නැගී සිටි ක්‍රීඩා චරිත මම ඕනෑ තරම් දැක ඇත්තෙමි. එ බැවින් කාලය බොහෝ ප්‍රශ්න "විසඳිය යුතු ලෙස විසඳන "බව හදිසි කාරයන්ට මතක් කර දී සිටිමි. සනත් ගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය විසඳීමට ඔහු ද , ක්‍රිකට් පුහුණු කරුවන් ද, ක්‍රිකට් පරිපාලනය ද ඒ අතර ඔහුගේ පවුලේ උදවිය ද සිටිති. ඒ නිසා වෙබ් අඩවි හරහා කුමන හේතුවක් මත හෝ අනවශ්‍ය කමෙන්ට්ස් දැමීම් , ලිපි පල කිරීම්, අපහාස කිරීම් හෝ වෙනයම් දේ නොකර අපේ ක්‍රීඩා තරුව ඉදිරියේ දී හොඳින් සෙල්ලම් කරනු ඇතැයි විශ්වාස කරමින් ඔහුට සුභ පැතීම ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමක් බව අප සැම සිහි තබා ගත යුතුය.




5 comments:

  1. ඒක සම්පූර්ණ ඇත්ත ... කාලය ඉවර වුනාම යා යුතුයි ... ඕනම ජගතෙකුට ඒක පොදුයි

    ReplyDelete
  2. කිසිම ක්‍රීඩාවක් පසුගිය ජයග්‍රහණ හෝ කීර්තිය මත රැදෙන්නේ නැහැ. ජයසූරිය යනු ලොව තවත් කිසි දිනක පහල නොවන අතිශය ශ්‍රේෂඨ ක්‍රීඩකයෙක් බවට කතා දෙකක් නැහැ. ඔහු පන්දුවට පහර දෙන විට ඕස්ට්‍රේලියානුවන් ආරම්භක පන්දු යවන්නෙක් සොයා ගැනීමට නොහැකිව ස්ටීව් වෝ වැනි ක්‍රීඩකයෙක් පනුදුව අතට ගත් හැටි මට තවම මතකයි. එදා සනත් අඩු ලකුණු වලට දැවී ගියොත් රූපවාහිනියෙන් තරග නරඹන 50% දෙනා ඉන් ඉවත් වූ බවත් සත්‍යයක්. මේ සියලුම දේ මැද වුවත් මා නම් විශ්වාස කරන්නේ ඕනෑම කෙනෙකුට ඉවත්වීමට කාලයක් ඇති බවයි. අපට පමණක් නොව අපේ දරු මුණුපුරන් පවා සනත් ගැන මතක තබා ගත යුත්තේ ලොව සියලු පන්දු යවන්නන්ට උන්හිටි තැන් අමතක වන ලෙස පිත්තෙන් ලකුණු ලබා ගත් සහ ලංකාව ලෝකයේ ඔසවා තැබූ සනත් ලෙස මිස හැමදාමත් අසාර්ථක වීමෙන් පසුව වුවත් කෙසේ හෝ කණ්ඩායමේ තැනක් ලබා ගන්නා වයසක අංකල් කෙනෙකු ලෙස නොවේ. මේ සනත්ගේ සමුගැනීමට සුදුසුම කාලයයි.

    ReplyDelete
  3. ඔබ කෙහොමත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුමක් තිබෙන කෙනෙකු ලෙස පෙනෙන්නෙ නෑ. ඔබගේ මතය‍ට විරුද්ධ මත දරන්නන්ට "බල්ලා" කියා වක්‍ර ආකාරයෙන් කිව්වක් මගේ තරහක් නෑ.
    ඉහත තිබෙන ඇනීගෙ කමෙන්ටුව ප්‍රමාණවත් හරි වැරද්ද තේරුම් ගන්නා කෙනෙකුට.
    ඕස්ට්‍රේලියා කණ්ඩායම ගැන පොඩ්ඩක් නිවි සැනසිල්ලෙ හිතල බලන්න.

    " අපට පමණක් නොව අපේ දරු මුණුපුරන් පවා සනත් ගැන මතක තබා ගත යුත්තේ ලොව සියලු පන්දු යවන්නන්ට උන්හිටි තැන් අමතක වන ලෙස පිත්තෙන් ලකුණු ලබා ගත් සහ ලංකාව ලෝකයේ ඔසවා තැබූ සනත් ලෙස මිස හැමදාමත් අසාර්ථක වීමෙන් පසුව වුවත් කෙසේ හෝ කණ්ඩායමේ තැනක් ලබා ගන්නා වයසක අංකල් කෙනෙකු ලෙස නොවේ. මේ සනත්ගේ සමුගැනීමට සුදුසුම කාලයයි "

    ReplyDelete
  4. මෙතන "කොල්ලොයි බල්ලොයි "යන වදන සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් පාවිච්චි කරන්නේ " වැඩක් නියමිත පරිදි කරන්න නියමිත පිරිස සිටිය දී වෙනත් ගොඩ පෙරකදෝරු කම් කරන්න ඉදිරිපත් වන පිරිස් සඳහාය. මම මේ ලිපිය තුලින්ම "ශ්‍රී ලංකා ක්‍රිකට් " ගැන මගේ අවබෝධයක් නැති බව ප්‍රකාශ කරන ලදී. තව ද මා පවසා සිටි කරුණ වන්නේ මා මෙන්ම අනික් කමෙන්ට් කරුවන්, ලිපි ලියන්නන්, මඩ ගසන්නන් ද, කැලෑ පත්තර කරුවන් ද ඒ පිලිබඳ නිශ්චිත අවබොධයක් නොමැති බවයි. විවේචනය කිරීමට අර්ජුන රණතුංග වැනි ජේෂ්ඨ ක්‍රීඩකයන් ද , හරි වැරදි පෙන්වා දීමට ක්‍රිකට් පුහුණු කරුවන්, ක්‍රිකට් කලමණාකාරීත්වය හා අනෙකුත් සමීප හිතවතුන් සිටිය දී අනෙක් අය "බල්ලගෙ වැඩේ බූරුව බාර ගත්තා සේ " වැඩ කිරීමෙන් මේ මාතෘකාව අනවශ්‍යය ලෙස වැරදි මාවතක් ඔස්සේ ගමන් කර රටේ පහල වූ ශ්‍රෙෂ්ඨ ක්‍රීඩකයෙක් සමහර විට තවම ක්‍රීඩා කිරීමේ හැකියාව ඇඟේ තිබිය දී ක්‍රීඩාවෙන් සමු ගැනීමයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන් "රෙප්ලෙස්මන්ට් "කරන්න පුලුවන් විදියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පහල වුනා නම් සනත් ජයසූරියලාට මේ දක්වා හෝ ක්‍රිකට් ගැසීමට සිදු නොවනු ඇත. මක් නිසා ද යත් වරක් "මැතිව් හෙඩ්න් "ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ පසු නැවත ඔහුට කණ්ඩායමට පැමිනීමට අවුරුද්දකට වැඩි කාලයක් බලා සිටීමට සිදු විය. සනත් ජයසූරිය ගේ විශේශත්වය වන්නේ වැරෙන් පන්දුවට පහර දීම නොව එසේ පහර දෙමින් ලකුණු පනහක් හෝ සියයක් හෝ ඊටත් වඩා ලකුණු එකදීගට තරඟ වලදී ගැනීමට සැකසුණු ශක්තිමත් කායික හා මානසික තුලනාත්මක භාවයක් පැවතීමයි. සනත් වෙනුවෙට එසේ ආදේෂ කල හැකි ක්‍රීඩයෙකුගේ නමක් සඳහන් කරන මෙන් මම ඉල්ලා සිටිමි.

    ReplyDelete
  5. ඔබ කෙසේ කීවත් ඵලක් නැත. නම් සඳහන් නොකලද පසුගිය සීරියස් එකේ පවා කණ්ඩායමේ සනත්ට වඩා ඉතා හොඳින් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයින් ඇතුළත් වුණා. එහෙත් එම ක්‍රීඩකයින්ට අවස්ථාව නොදී දිගින් දිගටම අසාර්ථක වන සනත්ව යොදා ගත්ත. ක්‍රීඩාවේ අනාගතය මේ තරුණ ක්‍රීඩකයන්ය. අත්දැකීම් ලබා ගැනීමට ඔවුන්ට ඇති අවස්ථාවත් අනාගතයක් නැති ක්‍රීඩකයෙකු වෙනුවෙන් කාලකණ්ණි කිරීම ඔබ හැර කිසිවෙක් අනුමත කරනු ඇතැයි සිතිය නොහැක.
    අර්ජුන වගේම අනෙකුත් ක්‍රීඩකයන් සේම ප්‍රවීණයන්ද මේ තත්වය දකිනු ඇත. ඒත් තමන්ගෙ සහෝදර ක්‍රීඩකයෙකුට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන්ගේ හදවත් වලට බැරිව ඇති. එබැවින් මහත්මයෙක් ලෙස සමුගත යුත්තේ සනාය.

    ReplyDelete