මෙතන කොටා මට සහය වන්න..

The On Demand Global Workforce - oDesk

Saturday, May 15, 2010

බාල්දි සහ කොඩිවින

හරක් හෙවිල්ලටයි, තෙලේ බලේටයි කට්ටියගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනව. ඇත්ත...මේ කතා මමත් මුලින් අහන කොට ෆුල් හොල්මන්. අදත් කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් ඒ වගේ කතාවක්. 

ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම තැනක " බාල්දි අදිනව "කියන එක සාමාන්‍ය දෙයක්. කවුරු හරි දියුණු වෙනවද? දෙපයින් නැගී සිටිනවද..කට්ටියට ඉතින් " කසන්න "ගන්නව. සමහරු කටින් ගහල වට්ටන්න හදනව. කේලම් කියල වට්ටන්න හදනව. එහෙම නැත්තම් "අලුත් කලාවක් හොයාගත්ත මං " කියල පෙත්සම් ගහල වට්ටන්න හදනව. හැබැයි ඒව ටිකක් "ඕල්ඩ් සිලොන් මෙතඩ්ස් " දැන් කරන්නෙ එස්.එම්.එස්. හරි ඊ මේල් වලින් අදාල පුද්ගලයා ගැන කටකතාවක් යවන එක. ඊට පස්සෙ ඉතින් වෙන හරිය කට්ටිය දන්නව ඇතිනෙ. හැබැයි ඉතින් කට්ටිය දැන ගන්න ඕනෙ ඕව කරාට " රිටර්න් එකත් "වෙන වෙන විදි වලින් ලැබෙන බව. අයිසෙක් නිව්ටන් තුන්වන නියමයෙන් කියන්නෙ " සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත " කියලනෙ. ඒක භෞතික විද්‍යවට එහෙම අදාල වුනාට අර වගේ වැඩ වලදි ප්‍රතික්‍රියාව එන්නෙ ඩබල්, ත්‍රිබල් සමහර විට ඊටත් වැඩි වෙලා.

 සමහර බුවාල ඉන්නව සමස්ත ප්‍රජාවටම "කෙලවෙන්න " ගේම් දෙන අය. ඒ වගේ වැඩක් කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදි මට අහු වුනා. 

කැම්පස් එකේ ලයිබ්‍රරි වල ඔය ලොකු ලොකු පොත් තිබුනට ඕවයින් සමහර පොත් වැඩක් නැහැ. ප්‍රදර්ශනේට තියල තියෙනව විතරයි. සමහර පොත් වල එක චැප්ටර් එකයි, දෙකයි වැදගත් වෙන්නෙ. අනික් චැප්ටර් වල තියෙන ඒව හොඳට විස්තර කරන වෙන පොත් තියෙනව.  හැබැයි තනි චැප්ටර් එක වුනත් ඒව ගොඩක් වටිනව. මොකද ඒකෙ විස්තර කරන කරුනු වෙන පොත්වල හොඳට නැති නිසා. ඔය වගේ ලෙක්චර් එකක් ඉවර වෙලා සර්ල කිව්වම අර පොතේ අර චැප්ටර් එක කියවන්න කියල, කට්ටිය ඉතින් දූවනව ලයිබ්‍රරි එකට ඉක්මනට ගිහින් පොත අරගන්න. අපි ඉතින් යන්නෙ සුමාන දෙකක් විතර පහුවෙලා විභාගෙ කටේ පොත් හොයන්න. දවසක් ඔය වගේ එක චැප්ටර් එකේ පොතක් ඉතාම අහම්බෙන්, ඉතාම දුර්ලබ ලෙස ලයිබ්‍රියෙ තියෙනව මම දැක්ක. ඉතාම දුර්ලබයි කියල කිව්වෙ ලෙන්ඩින්ග් ලයිබ්‍රරියෙ සබ්ජෙක්ට්ස් වලට අදාල පොතක් තියෙනව කියන්නෙ හාව හඳ දකිනව වගේ වැඩක් නිසා. ඒ කිව්වෙ කවුරු හරි මුලදිම පොත දුවල ගිහින් ගන්නව. ඊට පස්සෙ දඩ ගෙව ගෙවා තමන් ලඟම විභාගෙ ඉවර වෙනකම් තියාගන්නව. පොත ලයිබ්‍රරියට ලැබෙන්නෙ විභාගෙන් පස්සෙ. කාලෙ පන්නල් තියාගත්තම දවසට දඩේ ඒ කාලෙ රුපියල් දෙකයි. සමහරු දඩ රුපියල් දාහ, දෙදාහ වගේ ගණනුත් ගෙවනව ( මොකද සමහර පොත් කැම්පස් එකෙ ෆස්ට් ඉයර් එකේ ඉඳල ෆයිනල් ඉයර් එක වෙනකන්ම ඕන වෙනව ). කට්ටියට ගාන කැල්කියුලේට් කරල හිතා ගත්තැහිකි නෙ කොච්චර කල් පොත් තමන් ලඟ තියා ගන්නව ද කියල. ඉතින් මේ පුදුම සහගත පොත මං අරන් බැලුව ආසවට, සර් ලෙක්චර් එකේදි කිව්ව ඒ චැප්ටර් එක " කලුද සුදුද  "කියල බලන්න. ......මාර සීන් එක....චැප්ටර් එකම පොතේ නැහැ. ඒ වුනාට ප‍ටුනෙ තියෙනව පොතේ ඒ චැප්ටරේ තියෙනව කියල. පස්සෙ පොත පෙරලල අංක වලින් ගණන් කරල බැලුවම එක අංකයක් අඩුයි. ඒ අඩු අංකෙට අදාල හරියෙ පි‍ටු බැලුවම ඒ පි‍ටු ලස්සනට ඉරල අයින් කරගන. ඉතින් දහස් ගානක් වටින ඒ මුලු පොතෙන්ම වැඩක් නැහැ. මීට වඩා හොඳ උදාහරණ තිබුනත් මේ කතාව කිව්වෙ මේ දේවලුත් කට්ටිය දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතපු නිසා..කොල ඉරන්න නෙවෙයි. ඒ වගෙ වැඩ නොකර ඉන්න.

ගම් පලාත් වල බාල්දි අදින්නෙ වෙන ක්‍රම වලට. ඒව කරන්නෙ නොදැනෙන්න. ඒව වලින් හොඳම ක්‍රම වේදය තමයි "කොඩිවින ".  කොඩිවින කියන්නෙ මොනාද කියල කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. " මන්තර, ගුරුකම් විශයේ ඉතා ශාස්ත්‍රීය නිපුනතාවෙන් හෙබි", පලපුරුදු, දක්ෂ මන්ත්‍රාචාර්යතුමකු ලවා "තමාගෙ දැඩි ඊර්ෂ්‍යවට පාත්‍ර වූ පුද්ගලයකු හෝ ඔහුගේ ඥාති වර්ගයා හැඳි ගෑවී යාම උදෙසා සිදුකරනා යාතු කර්ම විශේෂයක් "කොඩිවින ලෙස සරළව අර්ථ නිරූපනය කල හැක. සමහර විට මේවා කරන්නේ ඒ ඒ අයගේ ලඟම " හිතවතෙකි ". 

ගම්වල ඉතින් තමන්ගෙ පවුල ඇරුනම නැන්දල, මාමාල, ලොකුඅප්පච්චිල, කුඩප්පච්චිල ගැන්සියම ඉන්නෙ එකට, එක ලඟ පදිංචි වෙලා. අසල් වාසීන් වුනත් කිසිම නෑදෑ කමක් නැතත් " නැන්දේ, මාමේ " කියාගෙන තමයි ඉන්නෙ. එකට ඉන්නකොට ඔක්කොම එකම ලෙවල් එකේ. කුරුඳු කපාගෙන විකුණල ගොවිතැන් කරගෙන ඉන්නව. ලෙඩක් දුකක් හැදුනොත් හැමෝම හොයල බලනව. මොකද හැමෝම එකම ලෙවල් එකේ නිසා. හැබැයි කාගෙ හරි පවුලක ලමයෙක් හොඳට ඉගෙන ගන්නව නම් හරි හොඳ පවුලකින් කසාදයක් එහෙම කරගෙන හරි එහෙම නැත්තන් අලුතින් ඉඩමක් එහෙම අරගෙන "ධන "පැත්තට මෙ ලෙවෙල් එකෙන් පනින්න ගියොත් කට්ටියට ඉතින් "කසන්න ගන්නව". හොඳ දෙයක් වුනොත් සතු‍ටු වෙන අය තමයි බහුතරය. "අනේ අපේ එකෙක්ට හරි යනව නම් ඒක අපිටත් හරි ගියා වගේ තමයි "කියල හිතන. නමුත් "ආ මුං නටනව වැඩියි, අඹරන්නන්කො මං "කියල හිතන එකෙක් හිටියම ඇති. සමහරවිට මේ කොඩිවින කරපු අයම තමයි ලඟින් ආශ්‍රය කරගෙන දුක සැප හොයන්නෙ. මොකද ඒ පවුලට කරපු කොඩිවිනෙ " ප්‍රෝග්‍රස් එක" හිතවත් කමට මුවාවෙන් ලඟින් ඉඳන් "මොනිටර්"කරනව.

ඒ වගේ අපේ ගමේ ගෙදරටත් ඒ කාලෙ කොඩිවින ප්‍රහාර රාශියක් එල්ල වෙලා තියෙනව. හැබැයි පුදුම වැඩේ කියන්නෙ ඒ ඔක්කොම අහුවෙලා තියෙන්නෙ අපේ අම්මගෙ අතට. මේ කියන්න හදන්නෙත් අපේ අම්මට අහුවෙච්ච කොඩිවිනයක් ගැන කතාවක්. 

අපේ ගමේ ගෙදර හදල තියෙන්නෙ ගමේ අතුරු පාරක පාරෙ මට්ටමෙන් අඩි තුනක් විතර උස ඒත් තැනිතලා ඉඩමක. ගේ ඉස්සරහ මිදුලෙ සුදු වැලි අතුරලයි තියෙන්නෙ. පඩි පහක් විතර තියෙන, සිමෙන්තියෙන් භැඳපු පඩිපෙලකින් නැගල තමයි පාරෙ ඉඬන් ගෙමිදුලට ඇතුලු වෙන්න ඕන. 

ඉතින් අම්ම හරි ආච්චි අම්ම හරි මිදුල අතුගගා ඉන්න කොට පාරෙ යන දන්න කියන උදවිය ගේ ලඟ නතර වෙලා හිනාවෙලා කතාබහ කරල තමයි යන්නෙ. දවසක් අම්ම මිදුල අතු ගගා ඉන්නකොට ඔයවගේ ගෙවල් දෙකක් ඈත ගේක ඉන්න ගෑනු කෙනෙක් අම්මත් එක්ක නැවතිලා කතාකර කර ඉඳල තියෙනව. ඉතින් අම්මත් මිදුලෙ පාර පැත්තට වෙන්න අයින අතුගාගා කතා කර කර ඉඳල තියෙනව. එතකොට ඒ මනුස්සය කිව්වලු "සුදු නෝන අයින අතුගාන්න එපා වත්තෙ පස් හෝදගෙන පාරට වැටෙනවනෙ කියල.."  (අපේ අම්මට ගමේ අය කිව්වෙ සුදු නෝනා කියල ) එහෙම කියල ඉතින් "මම ගිහිං එන්නම් කියල "ගියාලු. 

ඔහොම ඉතින් අම්ම අතු ගගා ඉන්න කොට වත්තෙ ඒ අයිනෙ තණකොළ ටිකක් අයින් වෙලා පස් බුරුල් වෙච්ච තැනක් දැකල තියෙනව. අම්ම පොඩ්ඩක් එතන විපරම් කරල හාරල බැලුවම කලුපාට බෝතලයක්  අහු වුනාලු. අම්මා ඒක ඇරල බලන්නෙ නැතුවම ආච්චි අම්මට ගිහිල්ල දීල තියෙනව. ආච්චි අම්මා ඔය සබ්ජෙක්ට් එක දන්න නිසා අම්මලගෙ මාමා කෙනෙක්ට ගිහින් කතා කරල මේ බෝතලෙ දුන්නලු. කොළඹ මෝදර තියෙනව "කාලි මෑණියන් "වෙනුවෙන් හදපු හින්දු කෝවිලක්. මේක අදටත් ප්‍රසිද්ධ තැනක්. ඒ කාලෙ මේ කෝවිලේ හිටපු පූසාරිතුමා අම්මලගෙ ඒ මාමාගෙ යාලුවෙක්. මාමා එදාම කොළඹ ඇවිත් අර බෝතලේ මේ පූසාරිතුමාට දීල විස්තරේ කිව්වලු. පූසාරිතුමාත් කෝවිල ඉස්සර ඉඳගෙන දෙමළ භාෂාවෙන් මන්තර වගයක් කියල අර බෝතලේ කොවිලේ තිබ්බ ගලක කුඩු වෙන්න ගැහුවලු. මෙන්න ඊට දවස් තුනකට පස්සෙ අර අම්මත් එක්ක පාරෙ කතාකරල ගිය ගැණුකෙනාගෙ ගෙදර හිටිය පොඩි ගෑනු ළමයෙක්ට කාලි අම්ම ආරූඩ වෙලාලු. " තොපි අර ඉහල ගෙදරට කොඩිවිනයක් කරා නේද..?තව දවස් තුනකින් තොපේ මේ ගෙදරින් බිල්ලක් ගන්නව.."කියල අර ගැනු ලමය කෑ ගහනවලු. ඉතින් මේ සිද්ධිය බලන්න ගමම ඒ ගෙදරට ගිහිල්ල...අපේ ගෙදරට කොඩිවින කරපු කතාවත් මුලු ගමම ඒකෙන් දැනගත්තලු. කොහොම හරි ඒ ගෙදර මිනිස්සුත් මොනා මොනා හරි කරල ඒ සිද්ධියෙන් බේරුනාලු..( දකුණු පළාතෙ ඕවද කරගන්න බැරි ). මම අර "හිතවත් "කතාව මුලින් කිව්වෙ මේකට. ඒ අම්මත් එක්ක කතා කරල ගිය ගෑනු කෙනා ඊට දවස් දෙකකට ඉස්සල්ල උදැල්ලක් හරි මොකක් හරි ඒ වගේ බඩුවක් ඉල්ලගෙන ගෙදරට ඇවිල්ල තේ ත් බීලලු ගියෙ.

මේ වගේ අපේ අම්මට ගෙදර වලලපු කොඩිවින තව දෙකක් වෙන වෙන දවස් වල අහුවෙලා තියෙනව. හැබැයි ඉතින් ඒවයින් ගමේ ගෙදරට හානියක් කරන්න කාටවත් ලැබිල නැහැ. තවත් මේවගේ කතා තියෙනවා, මගේ යාලුවන්ට එහෙම වෙච්ච. කොහොම හරි යහපත් ජීවන රටාවක් ගෙවන අයට හානි කරන්න ලේසි නැහැ. එහෙම හානි කරන අයට ගැලවිලා ඉන්න හම්බවෙන්නෙත් නැහැ. ඒව එලිදරව් වෙලා ලැජ්ජාවට පත්වෙන්න වෙනව. සමාජෙන් කොන් වෙන්න වෙනව. එහෙම නැතිවුනොත් හරි අමුතු අමුතු ක්‍රම වලින් ඒ මිනිස්සු විනාශවෙලා යනව. හැබැයි එහෙම වුනාට මිනිස්සුන්ට කොඩිවින කිරීම තාම ලංකාවෙන් නැතිවෙලා නැහැ.

මම හිතන විදියට ලෝකෙ කාට හරි හරි "අමාරු දෙයක් සාර්ථකව කිරීමෙන් ලබන සතුට "ලබන්න පුලුවන් ලේසිම විදිය තමයි "අනෙකෙකුගෙ සැපත දැකල සතු‍ටු වෙන එක ". ඒ තරමට මනස පුහුණු කරල හෝ පවත්වා ගන්නව කියන්නෙ කියන්න බැරි තරම් වටිනා ජයග්‍රහණයක්. ඒ එක්කම අනිකෙකුට දියුනු වෙන්න උපකාර කරල ලබන සතුටත් ඒ වගේ දෙයක්.

1 comment: