මෙතන කොටා මට සහය වන්න..

The On Demand Global Workforce - oDesk

Thursday, May 20, 2010

සනත් ජයසූරිය හා ශ්‍රී ලංකාව - දෙවන කොටස ( අදහස් වලට පිලිතුරු )



පසුගිය 18 වනදා පලකල "සනත් ජයසූරිය හා ලංකාව ලිපිය සම්බන්දයෙන් ලබාදුන් ප්‍රතිචාර පිලිබඳ මූලික වශයෙන් පාඨකයන් වෙත මම ස්තුතිය පුද කරමි. එ මගින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඇති සනත් ජයසූරිය පිලිබඳ ආකල්පයේ යම් දැනුවත් බවක් ලබාගැනීමට මට හැකි විය.

මා මූලික වශයෙන් සඳහන් කලයුතු එක් කරුණක් ඇත. එනම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කෙසේ වෙතත් " ශ්‍රී ලංකාවේ ක්‍රිකට් " ගැන ඒ අදහස් පල කල පාඨකයන් ද වෙනත් බ්ලොග් පි‍ටු හරහා අදහස් දැක්වූ බ්ලොග් ලිපි ලියන්නන් ද බ්ලොග් ලිපි වලට පරි බාහිර " ඕපාදූප වෙබ් අඩවි "වල කුණුහරපෙන් සනාට අපහාස කරමින් කමෙන්ට්ස් හා ලිපි පල කල පිරිස ද මේ ලිපිය ලියන ගිරිගෝරිස් ද  "රංජිත් මදුරසිංහ " තරම් වත් තොරතුරු නොදන්නා බවයි. ( රන්ජිත් මදුරසිංහ 1992 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේ පැවති ටෙස්ට් තරඟයට  සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු එම තරඟයේ දී කිසිදු විකට්‍ටුවක් දවා නොගත් අතර කිසිදු ලකුණක් ලබා ගත්තේ ද නැත. එය ඔහුගේ ප්‍රථ්ම හා අවසාන අන්තර් ජාතික ක්‍රිකට් තරඟය වූ අතර ඉන් පසු ක්‍රිකට් පුහුණු කරුවකු ලෙස කරලියට ආවේය. පසුව ජාතික රූපවාහිනියේ ක්‍රිකට් විචාරකයකු ලෙස ද අපට ඔහුව දැක ගැනීමට හැකි විය. )  මා රංජිත් මදුරසිංහ මහතා උදාහරණයට ගත්තේ, ලංකාවේ ක්‍රිකට් ගැන හෝ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ජීවිතය ගැන අදහස් දැක්වීමට තරම් " එක අන්තර් ජාතික ක්‍රිකට් තරඟයකට හෝ මා ද අන් අය ද සහභාගි වී නැති නිසාවෙනි. එසේ නම් අපි ක්‍රිකට් ගසා තිබෙන අය පිලිබඳ විමසා බලමු.

අර්ජුන රණතුංග යනු මෙරට  ක්‍රිකට් ක්‍රීඩාවේ දිදුලන නාමයකි. ඔහු මෙරට ක්‍රිකට් ගැන දැඩි අවදානයකින් සිටින්නේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන් " ගහගන්න "වුනත් සූදානමින් සිටින අයකු ලෙස පසුගිය ක්‍රිකට් නිළවරණ ආදී අවස්ථා සැලකීමේ දී පෙනී ගිය කරුණකි. ඔහු ක්‍රිකට් ගැන යමක් ප්‍රකාශ කරයි ද එම කරුණු  " කැලෑ පත්තර "වල ( කැලෑ පත්තර යන යෙදුම භාවිතා කලේ ඒවා යොදා ගනු ලබන්නේ කෙනෙක්ට මඩ ගැසීමට බැවිනි. යහපත් වදනින් ද ලිපි පලවේ. ඉන්පසු ලිපි වල නම් සඳහන් අයට මඩ ගැසීමට "කමෙන්ට් කරුවන්ට "ඉඩ දීම ද කැලෑ පත්තර වල ලක්ෂණයකි. )  කමෙන්ට්ස් ලෙස නොව ජාතික පුවත් පත් වල ඉදිරි පි‍ටුවේ හෝ ක්‍රීඩා පි‍ටුවේ පල කරනු ඇත. සනත් ජයසූරිය යනු ඔහු යටතේ ක්‍රිකට් සෙල්ලම් කල අයෙකි. සනත් ක්‍රිකට් වලින් සමුගත යුතු නම් එය මැනවින් නිරීක්ෂණය කර මුලින්ම අදහස් දක්වන්නේ ඔහුය. ( මා හිතනා ආකාරයට ක්‍රිකට් සම්බන්ධයෙන් එවැනි තීරණාත්මක අදහස් දැක්වීමකට සදාචාරත්මක අයිතියක් ඇත්තේ ද ඔහුට පමණි. ) පසුගිය ජාතික පුවත් පත් විමසා බැලීමේ දී සනත් ජයසූරිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා හෝ එවැනි ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු අදහස් පල කර තිබෙනවා මම නොදිටිමි. සනත් පිලිබඳ "ක්‍රිකට් පොරවල් "එසේ අදහස් දැක්වීමකට නොයද්දිත් කොහේවත් නැති "කොල්ලොයි බල්ලොයි " අදහස් දැක්වීම අප අනුමත කල යුතු ද?  සනත් ජයසූරිය යනු උඩින් ක්‍රිකට් වලට පහල වූ අයෙක් නොවේ. ක්‍රිකට් වලට ඇති "උණ "නිසාම ඒ හා බැඳුනු "අසීමිත ක‍ටු "‍රැසක් කා මෙතනට ආ අයෙකි. ( එය සනත් ටම නොව ක්‍රිකට් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ට ද පොදු වූ කරුණකි.) සනත් ජයසූරියට බත් කවා කිරි පෙවූ අය මෙන් කැලෑ පත්තර හා අනෙකුත් තැන් වල අදහස් දක්වන පිරිස් අඩුම ගණනේ තමන්ගේ ගමේ හෝ පාසලේ ක්‍රිකට් ගහන කොල්ලෙක්ට "මල්ලි උඹ හොඳට සෙල්ලම් කරල ටීම් එකට පලයන්. ප්ලේන් ටී එකක් බොන්න මේක තියාගනින් " යනුවෙන් රුපියල් දහයක්  සාක්කුවට දැමීමට තරම්වත් නිර්ලෝභී අය වූවා දැයි සැක සහිතය. නමුත් ඒ සැවොම සනත් ජයසූරිය වැන්නන් ගෙන දුන් "කීර්තියේ "සෙවන යටතේ අභිමානය හා සොම්නස අත් විඳි  පිරිසයි.

සනත් ජයසූරියව විශ්‍රාම යැවීමට කල්පනා කරන පිරිස් එසේ උත්සහ කරන්නේ පසුගිය කාලයේ ඔහු දැක්වූ දක්ශකම් වල අඩු පාඩුව නිසාය. නමුත් යම් හෙයකින් ඉදිරි එක් තරඟයකදී සනා ලකුණු සියයක් ගැසුවොත් එසේ විශ්‍රාම යැවීමට උත්සහ කරන්නන් හොයා ගැනීමට නොහැකි වනු ඇත. වසර විස්සක් පමණ ක්‍රීඩාකරන දක්ෂ ක්‍රීඩකයකුගේ දුර්වලතා මෙන්ම ප්‍රබලතා අධ්‍යයනය කර ඊට මුහුණ දීමේ ක්‍රියාමාර්ග ප්‍රතිවාදීන් විසින් හඳුනාගැනීම ඔනෑම ක්‍රීඩාවකට පොදු ලක්ෂණයකි. එවිට ඒ අනුව තම තරඟ විළාසය වෙනස් කර හෝ නව ක්‍රම අනුගමනය කර හෝ තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම ඔහුගේ වගකීමයි. එසේ නොමැතිව ක්‍රීඩාවෙන් සමුගන්නට ක්‍රීඩකයන් පෙලඹුනහොත් ක්‍රිකට් ගැසීමට අපට ක්‍රීඩකයන් නොමැති වනු ඇත, කලකට ඉහත  දී මුත්තයියා මුරලිදරන් යවනු ලැබූයේ "තියුනු ලෙස දඟ කැවුනු පිට දඟ පන්දු පමණි." ඉන්දියාවේ දී ඔහු එයින් කෙතරම් හරසරට පත් වී ද යත් නව්ජොට් සිං සිධු ඔහුගේ පන්දු වලට "ලොෆ්ටෙඩ් ඕන් ඩ්‍රයිව්  හයේ පහරවල් " වලින්ම සලකන්නට විය. "සිධු පන්දුවට පහර දෙන්න එනවිට මුරලිදරන් වෙව්ලනවා " වගේ කතාවක් කියා අරවින්ද ද සිල්ව ඒ දිනවල හොඳින් බැනුම් අසා ගත්තා මට මතකය. නමුත් අද වන විට " දූස්‍රා " ද, ලෙග් බ්‍රේක් ද, ස්ට්‍රේට් බෝල් ද ආදී එකී මෙකී නොකී විවිධ පන්දු යවමින් ඔහු ඉදිරියට ආවේය. ක්‍රිකට් වලින් සමුගත යුතු වී නම් මුරලි සමුගත යුතුව තිබුනේ බොහෝ කලකට ඉහත දීය. ජීවිත කාලය තුල දී හඳුනා ගැනීමට නොහැකි වෙතැයි විශ්වාස කල අජන්ත මෙන්ඩිස් ගැන කුමක් පැවසිය යුතු ද? 

ෆ්ලෙවියන් අපෝන්සු යනු 1980 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයෙකි. එකල "කැරළිකාර දකුණු අප්‍රිකානු සංචාරයට "සහභාගි වීම හේතුවෙන් සදහටම ක්‍රිකට් තරඟ තහනමකට ලක් වූ පසුව ඔහුව නැවතත් අපට ක්‍රිකට් වලින් දැක ගත හැකි වූයේ 1996 ලෝක කුසළාන තරඟයේ දීය. ඒ ඔහු නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එයට සහභාගි වූ නිසා වෙනි. එම තරඟාවලියේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු පනස් ගණනක් ‍රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 46 හෝ 47 ක් විය. මෑතක දී මගේ මිතුරකුගේ විවාහ උත්සවයක දී හමුවී ඔහු පවසා සිටියේ එම පාකිස්තාන් තරඟය අවසානේ වසීම් අක්‍රම් "ඔබ මෙම වයසේදිත් දැඩි ලෙස ශක්තිවන්තයි "යනුවෙන් ප්‍රශංසා කල බවයි. මාගේ මතකයේ හැටියට අන්තර්ජාතික ක්‍රිකට් වල ලකුණු පනහක් ගැසූ වයස්ගතම ක්‍රීඩකයා ද නෙදර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර ඔහු එය ලබාගෙන ඇත්තේ වයස  අවුරුදු පනහත් පසු වූ පසුවය. එනයින් ගත් කල සනත් ජයසූරිය යනු බොහෝ තරුණ ක්‍රීඩකයෙකි. අවුරුදු හතලිහේ සීමාවේ දී ක්‍රිකට් වලින් සමු ගැනීම ලෝක ක්‍රිකට් මෝස්තරයක් වුව ද හැකියාව ඇත්නම් අවුරුදු 75 දිත් ක්‍රිකට් ගැසීමේ වරද කුමක් ද? මා නැවතත් අවධාරණය කරන්නේ සනාට මේ එල්ල කරන අවලාද ඔහු ඊලඟ "මැච් විනින්ග් ස්කෝර් " එක ගසන තෙක් පමනක් බවයි. තමන්ගේ වයස්ගත බව තමන්ටම වැටහෙනවා මිස අන් අය තීරණය කරන්නේ කෙසේ දැයි මම නොදනිමි. එංගලන්තයේ දී පැවති 20-20 ලෝක කුසලානය ජයගත් පාකිස්තාන් නායකයා "තම්äන් 20-20  තරඟ සඳහා වයස වැඩි බවත්, තමන් 20-20 තරඟ වලින් සමු ගන්නා බවත් " කියා කතාව අහවර කරන විට ඔහුගේ වයස අවුරුදු 34 කි. නමුත් ඒ වනවිට අවුරුදු 38 ක් පමණ වූ සනත් ජයසූරිය හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අතර කිසිවෙක් " ඔබත් පාකිස්තාන් නායකයා අනුගමනය කරමින් ක්‍රිකට් වලින් සමුගන්නා ලෙස "සනාගෙන් ඉල්ලා සිටි බවක් මම නොදනිමි. ඒ වෙනුවට මම දු‍ටුවේ සනත් ජයසූරියව උදාහරණයට ගනිමින් පකිස්තාන් නායකයාගේ තීරණය උපහාසයට ලක් කිරීමයි.

මා මෙතරම් සනත් ජයසූරිය "සුද්ද"කිරීමට යන්නේ ඇයි දැයි කාට හෝ තාත්වික ප්‍රශ්නයක් මතුවෙනවා නිසැකය. මම ද කලකට ඉහත දී වෙනත් ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව නියෝජනය කලෙමි. එහි දී ක්‍රීඩකයන්ගේ පසුබෑම් ද නැවත නැගිටීම් ද මගේ ඇස් ඉදිරිපිට දීම මම දැක ඇත්තෙමි. "කබ්බන් "ගෙන් නන්නත්තාර වෙන්න කා පොරවල් වලට එලව එලවා ගසා එක් වරම නැගී සිටි ක්‍රීඩා චරිත මම ඕනෑ තරම් දැක ඇත්තෙමි. එ බැවින් කාලය බොහෝ ප්‍රශ්න "විසඳිය යුතු ලෙස විසඳන "බව හදිසි කාරයන්ට මතක් කර දී සිටිමි. සනත් ගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය විසඳීමට ඔහු ද , ක්‍රිකට් පුහුණු කරුවන් ද, ක්‍රිකට් පරිපාලනය ද ඒ අතර ඔහුගේ පවුලේ උදවිය ද සිටිති. ඒ නිසා වෙබ් අඩවි හරහා කුමන හේතුවක් මත හෝ අනවශ්‍ය කමෙන්ට්ස් දැමීම් , ලිපි පල කිරීම්, අපහාස කිරීම් හෝ වෙනයම් දේ නොකර අපේ ක්‍රීඩා තරුව ඉදිරියේ දී හොඳින් සෙල්ලම් කරනු ඇතැයි විශ්වාස කරමින් ඔහුට සුභ පැතීම ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමක් බව අප සැම සිහි තබා ගත යුතුය.




Tuesday, May 18, 2010

සනත් ජයසූරිය හා ලංකාව

සනත් ජයසූරිය, එය ලෝකෙ බලවත්ම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා ද දැනගෙන සිටි නමකි. මීට පෙර එවැනි ශ්‍රි ලාංකික නමක්  ලෝකෙ ප්‍රසිද්ධ වී තිබුනේ නම් ඒ මම සිතන්නෙ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගෙ පමණ යැයි මම සිතමි. මක් නිසාද යත් 1950 දශකයේ මධ්‍යධර්ණී මුහුද ආශ්‍රිතව පැන නැගුනු තුන්වන ලෝක යුද්ධයක් ඇති වීමේ මං සලකුණු අහුරා දැමීමට බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ ස්ංවිධානයේ මහා මංඩලයේ දී කල කතාව ඉවහල් වූ  බැවිනි.  ඔහුව ඉන්පසු හැඳින් වූයේ "ආසියාවේ රිදී දිව "  ( The Silver Tongue of Asia )ලෙසය. 

දිනක්  " yahoo community chat " හරහා ඉන්දියානුවෙක් හා " chat  කිරීමේ දී ඔහු මගෙන් විමසා සිටියේ " ලංකාව තිබෙන්නෙ කොහේද? "යනුවෙනි. මම විහිලුවට මෙන් කියා සිටියේ "එය ඉන්දියාවට මදක් පහලින් " පිහිටා තිබෙන බවයි. ( මම සිතුවේ ඔහු ලංකාව අවතක්සේරු කිරීමට උත්සහ කරන බවය. ඔහුගේම ප්‍රශ්නයෙන් ඔහු ලෝක සිතියම ගැන නොදන්නා මෝඩයෙකු ලෙස පෙන්වීමට මම උත්සහ කලෙමි. ) නමුත් ඔහු සත්‍ය වශයෙන්ම ලංකාව ගැන අවබෝදයක් නොතිබූ බව මම සැක හැර දැන ගත්තෙමි. එහෙත් ඔහු සනත් ජයසූරිය ලංකාවේ බව දැනගෙන සිටියේය.

මා මෙය සඳහන් කලේ සනත් ජයසූරිය කෙනෙක් ලංකාවේ පහල නොවන්නට එම ඉන්දියානුවා ලංකාව තිබෙන්නේ කොහේද නොව ලංකාව කියන්නෙ කුමක්ද කියාවත් නොදන්නවා ඇත.  සනත් ජයසූරිය යනු කවුද? මේ ප්‍රශ්නයට උත්තරේ ලංකාවේ මිනිස්සු දන්නේ නැත. ඒ සනත්ගේ උපන් ගම මාතර, පාසල සර්වේශස් විද්‍යාලය වැනි "ඕපාදූප "සෙට් එක නොව මේ රටේ ක්‍රිකට් ඉතිහාසය ගැන ප්‍රශ්නයකි. (අපේ රටේ මිනිස්සු ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරති ). සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ කාලයෙදී ලංකාව පරාජය කරමින් සිටියේ සිම්බාබ්වේ පමණි. එකල " ට්‍රයි නෙෂන් "ක්‍රිකට් තරඟාවලි පවා ශ්‍රී ලංකාව අවසන් කරේ අවසාන කරේ "අන්තිමයා " ලෙසය. සනත් ජයසූරිය පිතිකරණයට පිටියට පිවිසියේ හයවෙන්නාට හෝ හත් වැන්නටය. ඒ පැමිණ ලකුණු විස්සක් වත් ගසන්නේ නැත. සනත් ආරම්භක පිතිකරු ලෙස මුලින්ම පිටියට පිවිසියෙ  මගේ මතකයේ හැටියට "සාජා "කුසලාන තරඟයකදී පාකිස්තානය එරෙහිවය. වසීම් අක්‍රම්, වකාර් යුනිස් ගේ පන්දු හමුවේ "කොරවෙලා"සිටි ලංකාවේ අනිත් ක්‍රීඩකයන්ට පාකිස්තානයට මුහුන දෙන ආකාරය ඉගැන්වූයේ සනත් ජයසූරියයි. මින් පාඩම ඉගෙන ගත් ශ්‍රී ලංකා නායකත්වය පහලින් පහරදෙමින් සිටි රොමේශ් කලුවිතාරනව උඩට ගෙනාවේ බ. ඉ . කොදෙව්වන්ට එරෙහිව තවත් සාජා තරඟයකයකදීය. මෙතෙක් "50-50 තරඟවල පැවති "හාල් "ස්වභාවය නැති කර  " ත්‍රිල් " එක ගෙනාවේ සනා-කලූ යුගලයයි. එනයින් 20-20 ලෝක ක්‍රිකට් වල නිර්මාපකයන්ද වන්නේ මේ යුගලයයි.

මෙය වැදගත් වන්නේ මෙහිදීය. එදා සිම්බාබ්වේට වඩා පමණක් ඉදිරියෙන් සිටි ලංකාව අද ලෝක ක්‍රිකට් තලයේ ඉදිරියෙන්ම සිටියි. සනා නොගහන කොට " බලු බැනුම් "ලියා සනාට අපහාස කරමින් ලිපි දමන්නේ ද කමෙන්ට්ස් දමන්නේ ද සනත්ම කලකට පෙර ලංකාවේ උන්ට කන්න දුන්න " තෙල " ලංකාවේ උන්ට වැඩිවීම හේතුවෙනි. 

සනත්ලා, මුරලිලා මේ තරම් ඉහල තැනකට ලංකාව ගෙන එන විට ඔවුන් කල කැපවීම් කොපමනද? ඔවුන් කල කැපවීමට ඇති තරම් මුදල ලැබුනු බව යමෙකුට තර්ක කල හැක. නමුත් ඔවුන් අව්වේ කට්ට කාගෙන නිදි මරාගෙන උදෙන් ප්‍රැක්ටිස් කරගෙන මේ තරම් දුර ආවේ සල්ලි වලටම ද? එසේ වූයේ නම් ක්‍රිකට් අත් හැර ලොකු කොමපැණියක "එක්සෙකටිව්  පොරක් " ලෙස ගාණ කපාගෙන සද්ද නැතිව ජීවත් වීමට හැකියාව තිබිනි. නැත්නම් තම ජනප්‍රියත්වය පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ අනුබද්ධ ආයතනයක ‍රැකියාවකට සම්බන්ධ වී නමත් හදාගෙන ලෝකෙ වටේ යමින් ජීවත් වීමට හැකියාව තිබිණි. (එසේ කරන අය ඕනා තරම් ඇත.) නැත. ඒ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් ලබන තෘප්තිය නිසාය. එය සාමාන්‍ය කෙනෙකුට නොව රට වෙනුවෙන්ම ක්‍රීඩා  කල යම් අයකුට පමනක් දැනෙනා සත්‍යකි. එය හරියට කරනා මිනිසා සිතන්නේ " මම නැති වුනොත් කවුද මගේ තැන ගන්නේ ? ..යනුවෙනි. ගන්න කෙනෙක් නැති තැන තමන් "ෆේල් "වුන ද යලි යලිත් උත්සහ කරන්නේ හිටපු තත්වයට පත්වෙන්නටය. මෙයට උදාහරණය වන්නේ පසුගිය ඉන්දීය සංචාරයේ දී මුරලිදරන්ගේ ක්‍රියාකලාපයයි. එම සංචාරයේදී මුරලිට "හොඳට වැදුනේය". සංචාරය අවසානයේ දී මුරලි පැවසූයේ මෙසේ වැදෙනව නම් ක්‍රිකට් වලින් සමුගන්න 2011 වන තෙක් නොසිටිනා බවයි.  නමුත් ඉන්දියන් ප්‍රිමියර් ලීග් හරහා 2010 20-20 යට සෙල්ලම් කල මුරලිට කවුරුන් හෝ ඇඟිල්ල  දික් කරනු මම නොදිටිමි.

ක්‍රිකට් තරඟාවලියක් යනු සුලු දෙයකි. ඒවා හෙට ද අනිද්දා ද පැමිනෙනු ඇත. අපේ කණ්ඩායම අද පැරදුන ද හෙට දිනනු ඇත. අප සතු‍ටු විය යුතු කාරණා බොහෝමයක් මේ ක්‍රිකට් තුල ඇත. ප්‍රධාන දේ වන්නේ වර්ග කිලෝ මීටර් හැටපන්දහස් පන්සිය විසිපහක සිර වුනු දෙකෝටි විසි ලක්ෂයක් වැනි සුලු ජනගහනයකින් තේරී පත්වුනු එකොලොස් දෙනෙක් පරදා ඉදිරයට එන්නට තරම් ලෝකේ දෙවන වැඩිම ජනගහනය හිමි ඉන්දියාවට එකොළොස් දෙනෙක් ක්‍රිකට් සඳහා ‍තෝරා ගැනීමට නොහැකි වී තිබීමයි. හැඩි දඩි ශක්තිමත් දේහයන්ගෙන් සමන්විත කලු ජාතිකයන්ගෙන් පිරි බ. ඉ. කොදෙව්වන්ට ලංකාවේ සිටින මේ කුඩා මිනිසුන් එකලොස් දෙනෙකු ක්‍රිකට් වලින් පරදාලන්නට නොහැකි වීමයි. සනත්ගේ පසුපස එලවන මිනිසුන් මෙවැනි ජයග්‍රණ ගැන ප්‍රශන්සනාත්මකව කතා නොකරන්නේ මන්දැයි මම නොදනිමි. එහෙත් සනත් ජයසූරිය ලංකාවට අත්කර දුන් අති මහත් වූ කීර්තිය ක්‍රිකට් තරඟ දහයකට, පහලොවකට ලඝු කිරීමට තරම් අප "ගුණමකු "නොවිය යුතු බව මේ ලිපියෙන් මම මතක් කර සිටිම්.


Saturday, May 15, 2010

බාල්දි සහ කොඩිවින

හරක් හෙවිල්ලටයි, තෙලේ බලේටයි කට්ටියගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනව. ඇත්ත...මේ කතා මමත් මුලින් අහන කොට ෆුල් හොල්මන්. අදත් කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් ඒ වගේ කතාවක්. 

ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම තැනක " බාල්දි අදිනව "කියන එක සාමාන්‍ය දෙයක්. කවුරු හරි දියුණු වෙනවද? දෙපයින් නැගී සිටිනවද..කට්ටියට ඉතින් " කසන්න "ගන්නව. සමහරු කටින් ගහල වට්ටන්න හදනව. කේලම් කියල වට්ටන්න හදනව. එහෙම නැත්තම් "අලුත් කලාවක් හොයාගත්ත මං " කියල පෙත්සම් ගහල වට්ටන්න හදනව. හැබැයි ඒව ටිකක් "ඕල්ඩ් සිලොන් මෙතඩ්ස් " දැන් කරන්නෙ එස්.එම්.එස්. හරි ඊ මේල් වලින් අදාල පුද්ගලයා ගැන කටකතාවක් යවන එක. ඊට පස්සෙ ඉතින් වෙන හරිය කට්ටිය දන්නව ඇතිනෙ. හැබැයි ඉතින් කට්ටිය දැන ගන්න ඕනෙ ඕව කරාට " රිටර්න් එකත් "වෙන වෙන විදි වලින් ලැබෙන බව. අයිසෙක් නිව්ටන් තුන්වන නියමයෙන් කියන්නෙ " සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත " කියලනෙ. ඒක භෞතික විද්‍යවට එහෙම අදාල වුනාට අර වගේ වැඩ වලදි ප්‍රතික්‍රියාව එන්නෙ ඩබල්, ත්‍රිබල් සමහර විට ඊටත් වැඩි වෙලා.

 සමහර බුවාල ඉන්නව සමස්ත ප්‍රජාවටම "කෙලවෙන්න " ගේම් දෙන අය. ඒ වගේ වැඩක් කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදි මට අහු වුනා. 

කැම්පස් එකේ ලයිබ්‍රරි වල ඔය ලොකු ලොකු පොත් තිබුනට ඕවයින් සමහර පොත් වැඩක් නැහැ. ප්‍රදර්ශනේට තියල තියෙනව විතරයි. සමහර පොත් වල එක චැප්ටර් එකයි, දෙකයි වැදගත් වෙන්නෙ. අනික් චැප්ටර් වල තියෙන ඒව හොඳට විස්තර කරන වෙන පොත් තියෙනව.  හැබැයි තනි චැප්ටර් එක වුනත් ඒව ගොඩක් වටිනව. මොකද ඒකෙ විස්තර කරන කරුනු වෙන පොත්වල හොඳට නැති නිසා. ඔය වගේ ලෙක්චර් එකක් ඉවර වෙලා සර්ල කිව්වම අර පොතේ අර චැප්ටර් එක කියවන්න කියල, කට්ටිය ඉතින් දූවනව ලයිබ්‍රරි එකට ඉක්මනට ගිහින් පොත අරගන්න. අපි ඉතින් යන්නෙ සුමාන දෙකක් විතර පහුවෙලා විභාගෙ කටේ පොත් හොයන්න. දවසක් ඔය වගේ එක චැප්ටර් එකේ පොතක් ඉතාම අහම්බෙන්, ඉතාම දුර්ලබ ලෙස ලයිබ්‍රියෙ තියෙනව මම දැක්ක. ඉතාම දුර්ලබයි කියල කිව්වෙ ලෙන්ඩින්ග් ලයිබ්‍රරියෙ සබ්ජෙක්ට්ස් වලට අදාල පොතක් තියෙනව කියන්නෙ හාව හඳ දකිනව වගේ වැඩක් නිසා. ඒ කිව්වෙ කවුරු හරි මුලදිම පොත දුවල ගිහින් ගන්නව. ඊට පස්සෙ දඩ ගෙව ගෙවා තමන් ලඟම විභාගෙ ඉවර වෙනකම් තියාගන්නව. පොත ලයිබ්‍රරියට ලැබෙන්නෙ විභාගෙන් පස්සෙ. කාලෙ පන්නල් තියාගත්තම දවසට දඩේ ඒ කාලෙ රුපියල් දෙකයි. සමහරු දඩ රුපියල් දාහ, දෙදාහ වගේ ගණනුත් ගෙවනව ( මොකද සමහර පොත් කැම්පස් එකෙ ෆස්ට් ඉයර් එකේ ඉඳල ෆයිනල් ඉයර් එක වෙනකන්ම ඕන වෙනව ). කට්ටියට ගාන කැල්කියුලේට් කරල හිතා ගත්තැහිකි නෙ කොච්චර කල් පොත් තමන් ලඟ තියා ගන්නව ද කියල. ඉතින් මේ පුදුම සහගත පොත මං අරන් බැලුව ආසවට, සර් ලෙක්චර් එකේදි කිව්ව ඒ චැප්ටර් එක " කලුද සුදුද  "කියල බලන්න. ......මාර සීන් එක....චැප්ටර් එකම පොතේ නැහැ. ඒ වුනාට ප‍ටුනෙ තියෙනව පොතේ ඒ චැප්ටරේ තියෙනව කියල. පස්සෙ පොත පෙරලල අංක වලින් ගණන් කරල බැලුවම එක අංකයක් අඩුයි. ඒ අඩු අංකෙට අදාල හරියෙ පි‍ටු බැලුවම ඒ පි‍ටු ලස්සනට ඉරල අයින් කරගන. ඉතින් දහස් ගානක් වටින ඒ මුලු පොතෙන්ම වැඩක් නැහැ. මීට වඩා හොඳ උදාහරණ තිබුනත් මේ කතාව කිව්වෙ මේ දේවලුත් කට්ටිය දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතපු නිසා..කොල ඉරන්න නෙවෙයි. ඒ වගෙ වැඩ නොකර ඉන්න.

ගම් පලාත් වල බාල්දි අදින්නෙ වෙන ක්‍රම වලට. ඒව කරන්නෙ නොදැනෙන්න. ඒව වලින් හොඳම ක්‍රම වේදය තමයි "කොඩිවින ".  කොඩිවින කියන්නෙ මොනාද කියල කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. " මන්තර, ගුරුකම් විශයේ ඉතා ශාස්ත්‍රීය නිපුනතාවෙන් හෙබි", පලපුරුදු, දක්ෂ මන්ත්‍රාචාර්යතුමකු ලවා "තමාගෙ දැඩි ඊර්ෂ්‍යවට පාත්‍ර වූ පුද්ගලයකු හෝ ඔහුගේ ඥාති වර්ගයා හැඳි ගෑවී යාම උදෙසා සිදුකරනා යාතු කර්ම විශේෂයක් "කොඩිවින ලෙස සරළව අර්ථ නිරූපනය කල හැක. සමහර විට මේවා කරන්නේ ඒ ඒ අයගේ ලඟම " හිතවතෙකි ". 

ගම්වල ඉතින් තමන්ගෙ පවුල ඇරුනම නැන්දල, මාමාල, ලොකුඅප්පච්චිල, කුඩප්පච්චිල ගැන්සියම ඉන්නෙ එකට, එක ලඟ පදිංචි වෙලා. අසල් වාසීන් වුනත් කිසිම නෑදෑ කමක් නැතත් " නැන්දේ, මාමේ " කියාගෙන තමයි ඉන්නෙ. එකට ඉන්නකොට ඔක්කොම එකම ලෙවල් එකේ. කුරුඳු කපාගෙන විකුණල ගොවිතැන් කරගෙන ඉන්නව. ලෙඩක් දුකක් හැදුනොත් හැමෝම හොයල බලනව. මොකද හැමෝම එකම ලෙවල් එකේ නිසා. හැබැයි කාගෙ හරි පවුලක ලමයෙක් හොඳට ඉගෙන ගන්නව නම් හරි හොඳ පවුලකින් කසාදයක් එහෙම කරගෙන හරි එහෙම නැත්තන් අලුතින් ඉඩමක් එහෙම අරගෙන "ධන "පැත්තට මෙ ලෙවෙල් එකෙන් පනින්න ගියොත් කට්ටියට ඉතින් "කසන්න ගන්නව". හොඳ දෙයක් වුනොත් සතු‍ටු වෙන අය තමයි බහුතරය. "අනේ අපේ එකෙක්ට හරි යනව නම් ඒක අපිටත් හරි ගියා වගේ තමයි "කියල හිතන. නමුත් "ආ මුං නටනව වැඩියි, අඹරන්නන්කො මං "කියල හිතන එකෙක් හිටියම ඇති. සමහරවිට මේ කොඩිවින කරපු අයම තමයි ලඟින් ආශ්‍රය කරගෙන දුක සැප හොයන්නෙ. මොකද ඒ පවුලට කරපු කොඩිවිනෙ " ප්‍රෝග්‍රස් එක" හිතවත් කමට මුවාවෙන් ලඟින් ඉඳන් "මොනිටර්"කරනව.

ඒ වගේ අපේ ගමේ ගෙදරටත් ඒ කාලෙ කොඩිවින ප්‍රහාර රාශියක් එල්ල වෙලා තියෙනව. හැබැයි පුදුම වැඩේ කියන්නෙ ඒ ඔක්කොම අහුවෙලා තියෙන්නෙ අපේ අම්මගෙ අතට. මේ කියන්න හදන්නෙත් අපේ අම්මට අහුවෙච්ච කොඩිවිනයක් ගැන කතාවක්. 

අපේ ගමේ ගෙදර හදල තියෙන්නෙ ගමේ අතුරු පාරක පාරෙ මට්ටමෙන් අඩි තුනක් විතර උස ඒත් තැනිතලා ඉඩමක. ගේ ඉස්සරහ මිදුලෙ සුදු වැලි අතුරලයි තියෙන්නෙ. පඩි පහක් විතර තියෙන, සිමෙන්තියෙන් භැඳපු පඩිපෙලකින් නැගල තමයි පාරෙ ඉඬන් ගෙමිදුලට ඇතුලු වෙන්න ඕන. 

ඉතින් අම්ම හරි ආච්චි අම්ම හරි මිදුල අතුගගා ඉන්න කොට පාරෙ යන දන්න කියන උදවිය ගේ ලඟ නතර වෙලා හිනාවෙලා කතාබහ කරල තමයි යන්නෙ. දවසක් අම්ම මිදුල අතු ගගා ඉන්නකොට ඔයවගේ ගෙවල් දෙකක් ඈත ගේක ඉන්න ගෑනු කෙනෙක් අම්මත් එක්ක නැවතිලා කතාකර කර ඉඳල තියෙනව. ඉතින් අම්මත් මිදුලෙ පාර පැත්තට වෙන්න අයින අතුගාගා කතා කර කර ඉඳල තියෙනව. එතකොට ඒ මනුස්සය කිව්වලු "සුදු නෝන අයින අතුගාන්න එපා වත්තෙ පස් හෝදගෙන පාරට වැටෙනවනෙ කියල.."  (අපේ අම්මට ගමේ අය කිව්වෙ සුදු නෝනා කියල ) එහෙම කියල ඉතින් "මම ගිහිං එන්නම් කියල "ගියාලු. 

ඔහොම ඉතින් අම්ම අතු ගගා ඉන්න කොට වත්තෙ ඒ අයිනෙ තණකොළ ටිකක් අයින් වෙලා පස් බුරුල් වෙච්ච තැනක් දැකල තියෙනව. අම්ම පොඩ්ඩක් එතන විපරම් කරල හාරල බැලුවම කලුපාට බෝතලයක්  අහු වුනාලු. අම්මා ඒක ඇරල බලන්නෙ නැතුවම ආච්චි අම්මට ගිහිල්ල දීල තියෙනව. ආච්චි අම්මා ඔය සබ්ජෙක්ට් එක දන්න නිසා අම්මලගෙ මාමා කෙනෙක්ට ගිහින් කතා කරල මේ බෝතලෙ දුන්නලු. කොළඹ මෝදර තියෙනව "කාලි මෑණියන් "වෙනුවෙන් හදපු හින්දු කෝවිලක්. මේක අදටත් ප්‍රසිද්ධ තැනක්. ඒ කාලෙ මේ කෝවිලේ හිටපු පූසාරිතුමා අම්මලගෙ ඒ මාමාගෙ යාලුවෙක්. මාමා එදාම කොළඹ ඇවිත් අර බෝතලේ මේ පූසාරිතුමාට දීල විස්තරේ කිව්වලු. පූසාරිතුමාත් කෝවිල ඉස්සර ඉඳගෙන දෙමළ භාෂාවෙන් මන්තර වගයක් කියල අර බෝතලේ කොවිලේ තිබ්බ ගලක කුඩු වෙන්න ගැහුවලු. මෙන්න ඊට දවස් තුනකට පස්සෙ අර අම්මත් එක්ක පාරෙ කතාකරල ගිය ගැණුකෙනාගෙ ගෙදර හිටිය පොඩි ගෑනු ළමයෙක්ට කාලි අම්ම ආරූඩ වෙලාලු. " තොපි අර ඉහල ගෙදරට කොඩිවිනයක් කරා නේද..?තව දවස් තුනකින් තොපේ මේ ගෙදරින් බිල්ලක් ගන්නව.."කියල අර ගැනු ලමය කෑ ගහනවලු. ඉතින් මේ සිද්ධිය බලන්න ගමම ඒ ගෙදරට ගිහිල්ල...අපේ ගෙදරට කොඩිවින කරපු කතාවත් මුලු ගමම ඒකෙන් දැනගත්තලු. කොහොම හරි ඒ ගෙදර මිනිස්සුත් මොනා මොනා හරි කරල ඒ සිද්ධියෙන් බේරුනාලු..( දකුණු පළාතෙ ඕවද කරගන්න බැරි ). මම අර "හිතවත් "කතාව මුලින් කිව්වෙ මේකට. ඒ අම්මත් එක්ක කතා කරල ගිය ගෑනු කෙනා ඊට දවස් දෙකකට ඉස්සල්ල උදැල්ලක් හරි මොකක් හරි ඒ වගේ බඩුවක් ඉල්ලගෙන ගෙදරට ඇවිල්ල තේ ත් බීලලු ගියෙ.

මේ වගේ අපේ අම්මට ගෙදර වලලපු කොඩිවින තව දෙකක් වෙන වෙන දවස් වල අහුවෙලා තියෙනව. හැබැයි ඉතින් ඒවයින් ගමේ ගෙදරට හානියක් කරන්න කාටවත් ලැබිල නැහැ. තවත් මේවගේ කතා තියෙනවා, මගේ යාලුවන්ට එහෙම වෙච්ච. කොහොම හරි යහපත් ජීවන රටාවක් ගෙවන අයට හානි කරන්න ලේසි නැහැ. එහෙම හානි කරන අයට ගැලවිලා ඉන්න හම්බවෙන්නෙත් නැහැ. ඒව එලිදරව් වෙලා ලැජ්ජාවට පත්වෙන්න වෙනව. සමාජෙන් කොන් වෙන්න වෙනව. එහෙම නැතිවුනොත් හරි අමුතු අමුතු ක්‍රම වලින් ඒ මිනිස්සු විනාශවෙලා යනව. හැබැයි එහෙම වුනාට මිනිස්සුන්ට කොඩිවින කිරීම තාම ලංකාවෙන් නැතිවෙලා නැහැ.

මම හිතන විදියට ලෝකෙ කාට හරි හරි "අමාරු දෙයක් සාර්ථකව කිරීමෙන් ලබන සතුට "ලබන්න පුලුවන් ලේසිම විදිය තමයි "අනෙකෙකුගෙ සැපත දැකල සතු‍ටු වෙන එක ". ඒ තරමට මනස පුහුණු කරල හෝ පවත්වා ගන්නව කියන්නෙ කියන්න බැරි තරම් වටිනා ජයග්‍රහණයක්. ඒ එක්කම අනිකෙකුට දියුනු වෙන්න උපකාර කරල ලබන සතුටත් ඒ වගේ දෙයක්.

Friday, May 14, 2010

තෙලේ බලේ

හරක් හෙවිල්ල ගැන ගිය පාර කතා කරානෙ. එ වගෙ අද්භූත දේවල් ගොඩක් අපේ ගමේ සිද්ධ වෙලා තියෙනව. මේ කියන්නෙත් ඊට ටිකක් වෙනස් අද්භූත කතාවක් ගැන. ඉස්සර ලංකාවෙ මිනිස්සු විවිධාකාරෙ මන්තර ගුරුකම් වැඩ කිඩ දැනගෙන ඉඳල තියනවනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගෙ කතාවක් ගැන.

කට්ටිය එහෙම සැලළිහිණි සංදේශය, පරවි සංදේශය, කාව්‍යශේඛරය එහෙම ලියපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන දන්නව ඇතිනෙ. (දන්නැත්තන් ඉතින් වහ කන්න තමයි වෙන්නෙ ) . එතුමාගෙ එක කතන්දරයක් කට්ටිය දන්නව ඇති අහසින් යන තෙලක් හදපු කතාව. හාමුදුරුවො හදපු තෙල මලයාලි දේශයෙන් ආපු මන්තර පොරක් හොරකම් කරල ඒක ගාගෙන අහසින් යනකොට හාමුදුරුවො ඒක දැකල හට්ටියෙ ඉතුරු තෙල් ටික බල්ලෙක්ගෙ පස්ස පැත්තෙ ගාපු කතාව. කතාව ඉවර වෙන්නෙ හාමුදුරුවො කරපු ඒ වැඩෙන් තෙලේ බලේ නැති වෙලා අහසින් ගිය  මලයාලි මෑන්ස් පෘථුවියට පතිත වී යටියන්තොට යාමෙන් ( වැලිගම යන්නෙ දකුනු පලාතෙ අය විතරෛ කියලා අපේ දහම් පාසලේ ටීචර් කෙනෙක් කිව්ව ) කොහොම වෙතත් මෙ කියන්න හදන ස්ටොරියෙ තියෙන්නෙත් ඒ වගේ තෙලක් ගැන.  රජකාලෙ හදපු ඒ වගේ තෙලක් ඒ කාලෙදිම අපේ ගම් පැත්තෙ කැළෑවක තිබුන යෝධ "දෙල් ගහක" බෙනේක හංඟල තිබිල තියෙනව පස්සෙ ගන්න බලාගෙන. කොහොම හරි ගංඟපු අයට ඒක ගන්න බැරි වෙලා තියෙනව. (එල මෝඩ පොරවල්ස් නේද? ) කොහොම හරි පස්සෙ කාලෙක මිනිස්සු දන්නෙ නැතිව මේ දෙල් ගහ කපල තියෙනව. මොකද වුනේ....දෙල් ගහ උඩින් පියාඹල ගියාලු. එහෙම පියාඹපු දෙල් ගහ අන්තිමට ගිහින් මාදු ගඟට වැටිල තියෙනව.

වැස්ස නැතිව මාදු ගඟේ වතුර මට්ටම අඩු වෙන කාලෙට ගඟේ පතුල පේනව. මේ ගහ වැ‍ටුන කියන තැන පතුල බැලුවම අදටත් ඒ දෙල් ගහේ කොළ පේනව කියල අපේ ආච්චි අම්ම කියල තියෙනව. අවුලකට තියෙන්නේ අද වෙනකම් මම මාදු ගඟ කියල දැකල තියෙන්නෙ කෝච්චියෙන් මාතර යනකොට බලපිටිය පාලමෙන් පිටිපස්සට පේන මාදු ගඟ විතරයි.

Thursday, May 13, 2010

හරක් හෙවිල්ල

අපේ ගම බොහෝම ලස්සන පැත්තක්.කුරුඳු වවල හැම තැනම. කුඹුරු ගොවිතැනුත් කරනව. ඉස්සර අපි ගමේ යනකොට යන්නෙ අලුත්ගමට අවිත් එතනින් ඇල්පිටිය බස් එකක් අරගෙන..එහෙම නැතිවුනත් කොළඹින් කෙලින්ම ඇල්පිටිය බස් තියෙනව. ඒත් ඒ දවස් වල දැන් තරම්  ප්‍රවාහන පහසුකම් ඒ පැතිවල දියුණු නැහැ. වාහනේකින් එනකොට එන්නෙ කොස්ගොඩට ඇවිල්ල එතනින් හැරිල. ඒ පාරෙ එනකොට පාරෙ වම් පැත්තෙ ඌරගහට ලං වෙලා ඒ දවස් වල තිබුන "යුද්ධ පිට්ටනිය " කියල පොඩි පිට්ටනියක්. ඒකට එහෙම කියන්නෙ දෙවන ලෝක යුද්ධ කාලෙ ජපන්නු ලංකාවට බෝම්බ දානකොට එ පිට්ටනියට බොම්බ දෙකක් දාල තිබුන නිසා. මෑතක් වෙනකන් බෝම්බ පිපිරිලා හෑරිච්ච වලවල් දෙක තිබිල තියෙනව. දැන් නම් එතන යුද්ධ පිට්ටනියක් නැහැ. ගෙවල් හදල තියෙන නිසා.තව ඒක ප්‍රසිද්ධ වුනේ ඒ දවස් වල ගුවන් හමුදාවෙ හෙලිකොප්ටරයක් එතන්ට බාල තියෙන නිසා.

දැන් මම මෙ කියන්න හැදුව කතාව වෙලා තියෙන්නෙ පරම්පරා දෙකකට විතර ඉස්සර.කාලෙ හරියටම කියන්න බැරි නිසා තමයි පරම්පරා වලින් කිව්වෙ. මේක වෙලා තියෙන්නෙ අපෙ අම්මගෙ  දුර නෑයෙක් වෙන මාම කෙනෙක්ගෙ තාත්තට. අපේ ගම් ප්‍රදේශයේ ඉස්සර හිටපු දේව පතිරාජ කියල ඇමති කෙනෙක් සම්බන්ධව ජනකතා ගොඩක් තියෙනව. නිධන් වලලපු කතා වගේ දේවල් තමයි ගොඩක් තිබිල තියෙන්නෙ. ඒ වුනාට කට්ටිය නිදන් හාරන්න ඌරගහ යන්න ලෑස්ති වෙන්න එපා. තවමත් ඒ දේව පතිරාජ ඇමතිගෙ බලපෑම තියෙනව කියල තමයි කියන්නෙ. ඒ දවස් වල මිනිස්සු හරක් දිගේලි කරනව කියල කරල තියෙන්නෙ කැලේට යවපු එක. උදෙන්ම කැලේට යවල හවසට එක තාලෙකට හූවක් කිව්වම ඒ හූ සද්දෙට හරක් එනව ස්වාමියව හොයාගෙන. දවසක් මේ සීය හරක් ටික ඒ වගෙ හවස ගන්න ගියාම එක හරකෙක් ඉඳල නැහැ. ඉතින් සීය කරල තියෙන්නෙ හරකව හොයාගෙන කැලේට රිංගපු එක. ඔහොම හරකව හොයාගෙන හොයාගෙන කැලෙ මැද්දට ගියාම හම්බවුනාලු කැලේ මැද්දෙ පලතුරු වලින් මල් වලින් පිරුනු උයනක් වගෙ තැනක්.  දැන් ඇවිදල ඇවිදල මහන්සියි. බඩගිනියි. සීය ඉතින් ඒ පලතුරු වත්තෙන් පලතුරු කාල බඩපිරුනම සීයට දැන් "දොට්ට පිලට යන්න ඕන වුනාලු ". සීය මොකද කරේ අර උයනෙම ඉතින් වැඩේ අහවර කරාලු. වැඩේ ඉතින් අමාරු වෙලත් නැහැ. මොකද සීයා ඇඳගන ගිහින් තිබුනෙ අමුඩයක් නිසා. කොහොම හරි ඉතින් ඔක්කොම ඉවර වෙලා සීයා ඉතින් හරකව හෙවිල්ල පොස්ට්පෝන් කරල ගෙදර යන්න ලෑස්තිවෙලා යනවලු යනවලු සීයට ගෙදර යන පාර හොයාගන්න බැහැලු. කොච්චර කැලෙන් එලියට යන්න උත්සහ කරත් කැරකිලා එන්නෙ උයනට. සීය දැන් හත් අට පාරක් එක එක පැති වලින් ගියාලු  කොහෙන් ගියත් කැරකිලා එන්නෙ උයනට. දැන් සීයට මහන්සියි. කරගන්න දෙයක් නැහැ ගහක් යට වාඩිවෙලා ගිමන් ඇරිය. ඊට පස්සෙ  මහන්සියට සීයට නින්ද ගිහින් තියෙනව. එතකොට සුදු ඇන්ද ගත්ත මනුස්සයෙක් හීනෙන් ඇවිල්ල සීයට කිව්වලු " තොට බඩගින්නට කන්න දුන්නත් මදිවට මෙතන රීලත් යනව. යනකොට එකත් අරන් පලයන් " කියල. එ එක්කම සීය බය වෙලා ඇහැරිලා ඉතින් මොකද කරේ අමුඩ ලෙන්සුව ගලවල අර හෙලපු අමුද්‍රව්‍ය ඔක්කොම එකෙ දාගත්තලු. දාගෙන එනකොට තමයිලු ගමට යන පාර පෙනුනෙ.ඉතින් එහෙම සෑහෙන්න දුර ඇවිල්ල ගමට කිට්‍ටු කරල තමයිලු ඒ අමුඩ ලේන්සුව හිස් කරල හොදගත්තෙ. එතකොට ගමට  ලං වුනාම නැතිවෙච්ච හරකවත් හම්බවුනාලු.

සීරුවේන් සිටින්....!!!!!!!!!!!! ගිරිගොරිස් පැමීණේඒඒඒඒඒ..............................!

ඔන්න කට්ටියටම කෑ ගහලම කිව්ව මං එනව කියල.....තේරුණානේ..නෙ?...සිංහල බ්ලොග් පි‍ටු කියවල බැලුවම මටත් හිතුන "බ්ලොග් පොරක් " වෙන්න....මගේ තියෙන අති මහත් දැනුම (මම හිතාගෙන ඉන්න විදියට ) හුදී ජනයාගේ පහන් සංවේගය පතා බෙදා හරින්න ඕන කියල හිතල ඕං නමෝ විත්තියෙන්ම වැඩ පටන් ගන්න හිතුව....මුලින්ම අපරාධෙ කියන්න බැහැ " සිංග්‍රීසි යුනිකෝඩ් " හදපු ඇත්තන්ට නම් පිං අයිති වෙන්ට ඕනැ...... නැත්තන් ගිරිගොරිස්ල ලියයි "ඉංගිරිසි "......ඕං එහෙනං අද ඉඳල ගිරිගොරිස් පොඩිඅප්පුහාමිත් එනව බ්ලොග් වලට.....